ව්‍යාපෘති

ආරක්ෂිත නිවහන

LGBTIQ+ ප්‍රජාව සඳහා ආරක්ෂිත ස්ථානයක්

නුවරඑළියේ පිහිටි 'Équité' (ඉක්විටි) ආරක්ෂිත නිවහන (Safe House), හිරිහැරවලට ලක්වීම, පවුලෙන් ප්‍රතික්ෂේප වීම හෝ අත්හැර දැමීම, සමීපතම සහකරුවන්ගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය, හෝ තම ආරක්ෂාවට, ගෞරවයට සහ යහපැවැත්මට තර්ජනයක් වන වෙනත් තත්වයන්ට මුහුණ දෙන, වයස අවුරුදු 18 සහ ඊට වැඩි LGBTIQ+ පුද්ගලයින් සඳහා ආරක්ෂිත පරිසරයක් සපයයි.

මෙම ආරක්ෂිත නිවහන වයස අවුරුදු 18 ට වැඩි LGBTIQ+ ප්‍රජාවේ සාමාජිකයින්ට සහාය වීම සඳහාම ස්ථාපිත කර තිබේ. මෙහි අරමුණ වන්නේ, LGBTIQ+ පුද්ගලයින්ට සහාය ලබා ගැනීමට, අන් අය සමඟ සම්බන්ධ වීමට, තම අත්දැකීම් බෙදා ගැනීමට මෙන්ම මානසික යහපැවැත්ම, පෞද්ගලික සංවර්ධනය, ප්‍රජා සහයෝගීතාව සහ සමාජීය ඇතුළත් කරගැනීම (social inclusion) ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකි, සුහදශීලී අවකාශයක් ලබා දීමයි.

LGBTIQ+ පුද්ගලයින්ගේ යහපැවැත්ම, ප්‍රශ්න වලට ඔරොත්තු දීමේ හැකියාව (resilience) සහ සමාජ සබඳතා ශක්තිමත් කිරීම සඳහා 'Équité' ආරක්ෂිත නිවහන විසින් ප්‍රජා මූලික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරනු ලබයි. මීට මානසික සෞඛ්‍යය සහ මනෝ-සමාජීය යහපැවැත්මට අදාළ ක්‍රියාකාරකම්, විනෝදාත්මක ක්‍රීඩා, සංස්කෘතික සැමරුම්, සම වයසේ මිතුරන් අතර සාකච්ඡා, ප්‍රජා හමුවීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළත් වේ.

එමෙන්ම, නීතිමය සහාය ලබා ගැනීමට සහ ඒ සඳහා යොමු කිරීම් (referrals) සිදු කිරීමටත්, HIV, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ වෙනත් අදාළ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ උපදෙස් ලබා දීමට සහ ඒ වෙත යොමු කිරීමටත් මෙම ආරක්ෂිත නිවහන පහසුකම් සලසයි. මෙම ක්‍රියාකාරකම් සහ සේවාවන් හරහා, LGBTIQ+ ප්‍රජාවේ සාමාජිකයින්ට දැනුවත් තීරණ ගැනීමටත්, සුදුසු සහාය ලබා ගැනීමටත්, ගෞරවාන්විතව තම අයිතිවාසිකම් භුක්ති විඳීමටත් බලගැන්වීම 'Équité' හි අරමුණයි.

මෙම ආරක්ෂිත නිවහන සම්බන්ධීකරණය කරනු ලබන්නේ රිස්වානා මාහීර් මිය, සහ රන්දික අල්විස් මහතා විසිනි. ප්‍රජා සහභාගීත්වය, ප්‍රජා මූලික ක්‍රියාකාරකම් සහ පුහුණු වැඩසටහන් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔවුන්ට පුළුල් අත්දැකීම් ඇත. තවද, මධ්‍යම පළාත පුරා පිහිටි පොලිස් ස්ථාන, රාජ්‍ය ආයතන සහ වෙනත් අදාළ පාර්ශවකරුවන් සමඟ ඔවුන් ශක්තිමත් සබඳතා ජාලයක් පවත්වාගෙන යයි.

මෙම සබඳතා මගින්, LGBTIQ+ ප්‍රජාවේ සාමාජිකයින් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය, යොමු කිරීම් සිදු කිරීම, සේවාවන් වෙත ප්‍රවේශය ලබා දීම සහ අදාළ ආයතන සමඟ කටයුතු කිරීම පහසු කරනු ලබයි.

LGBTIQ+ පුද්ගලයින්ගේ ගෞරවය, සමානාත්මතාවය, ආරක්ෂාව සහ සමාජීය ඇතුළත් කරගැනීම ප්‍රවර්ධනය කිරීමට 'Équité' කැපවී සිටී. නුවරඑළියේ පිහිටි මෙම ආරක්ෂිත නිවහන හරහා, ප්‍රජා සබඳ 'Équité Safe House' යනු ආරක්ෂාව, සහාය, සබඳතා සහ ගෞරවය පවතින ස්ථානයක් වන අතර, එහිදී සෑම LGBTIQ+ පුද්ගලයෙකුටම ගෞරවයෙන් යුතුව සළකයි.
About UsOur WorkSri Lanka Pride
Our PublicationsOur LeadershipOur StoriesGet Involved